.

බෞද්ධ මනෝ චිකිත්සාව

 

රහත් සිතට සමීප වෙමු

 උඩදුම්බර කාශ්‍යප හිමි

 විද්‍යාව යනු දන්නා බවයි. මනෝවිද්‍යාව යනු මනස පිළිබඳ දන්නා බවයි. යමක් පිළිබඳ තත්වාකාරයෙන් දැනීමකින් තොරව එය භාවිතා කිරීම විශාල අවදානමක් සහිත කාරණාවකි. මන්ද යත් විශාල හානි සිදුවියහැකි බැවිනි.ලොවෙහි මනුසත්භාවය ලැබ, උසස් මනසක් ලැබු මිනිසුන් බොහෝ දෙනෙකුට එහි ක්‍රියාකාරිත්වය නොදැන භාවිතා කිරීමට සිදුවී ඇති බැවින් වැරදීම් සිදුවෙති. වැරදි ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන හැඟීම් දරාගත නොහැකිව හඬති. වැළපෙති. සුසුම් හෙලති. බැන වදිති.

 කළහ කර ගනිති. උනුන් ඇනකොටා ගනිති. දිවිපවා තොර කර ගනිති. මෙසේ නොකළ යුතුදේ කිරීමට සිදුවන නොකිය යුතු දේ කීමට සහනොසිතිය යුතුදේ සිතීමට සිදුවන සියලු ක්‍රියාකාරකම් වලට හේතු වන්නේ මනසෙහි ක්‍රියාකාරිත්වය නොදැන සිදුකරන ලද වැරදි භාවිතය නිසා ඇතිවන වැරදි හැඟීම් සමුදායයි. මේ ජීවිතය පමණක් නොව සසර ජීවිතයම විනාශ වන බොහෝ දුක් කම්කටොලු, තීව්‍ර වේදනා විඳින්නට පවා මෙම තත්වයන් හේතුවේ. එබැවින් මනස පිළිබඳ දැනගෙන එය භාවිතා කිරිම ඉතා වැදගත් වේ. 

 

 මනස, එහි ක්‍රියාකාරිත්වය එය සකස් කිරීම හා සකස් කරන වැඩ පිළිවෙළ කිසිදු අඩුවක් නොමැතිවම අවබෝධකරගෙන දේශනා කරන්නට යෙදුන උතුම් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. එවැනි ධර්මයක් උරුමලත් බෞද්ධ පිංවත් උදවිය අසරණ නොවන්නේ සියලු දුක් ලබාදෙන සකස් නොකරන ලද මනස, නැවත කොයි ආකාරයකට වත් දුකක් ඇති නොවන ලෙස සකස් කර ගැනීමට මග හෙළි පෙහෙලි වී ඇති බැවිනි. භාවිතාකර එහි ප්‍රතිඵල ලබාගැනීමට පෙරම, භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය හේතු සහිතවම පෙන්වා දිය හැකි, හේතු ඵල දහමකින් යුක්ත වු උතුම් ධර්මය කිසිදු සැකයකින් තොරව භාවිතා කළ හැක්කේ එහෙයිනි. මනසිකාරය යනු මනසෙහි එක් ක්‍රියාකාරිත්වයකි. එය බෞද්ධ ධර්මයෙහි යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය ලෙස දෙයාකාරයකට අර්ථ දැක්වේ. නිවැරදි මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය වන අතර වැරදි මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය නම් වේ. එසේ මෙනෙහි කරන ආකාරය අනුව එම මනසිකාරය නිසාම පුද්ගලයකු තුළ නොයෙකුත් දෘෂ්ටීන් ඇතිවේ. නිවැරදි මනසිකාරය නිවැරදි දෘෂ්ඨීන් ඇති කරන අතර වැරදි දෘෂ්ඨින් ඇතිවන්නේ වැරදි මනසිකාරය නිසාවෙනි. දෘෂ්ටිය යනු දැක්මයි. පුද්ගලයකුට ඉන්ද්‍රියන් තුළින් ලොව අරමුණු වන කල්හි ඔහු තුළ සකස් වන දෘෂ්ටින් වලට අනුකූලව අරමුණු වන දේ තේරුම් ගැනීම සිදුවෙයි. නිවැරදි දෘෂ්ටි ඇත්තේ ලොව නිවැරදිව තේරුම් ගන්නා අතර ලොව පිළිබඳ වැරදි ආකාරයට තේරුම් ගන්නා වැරදි දෘෂ්ටි සහිත වූවන් වරදවාගත් හැඟීම් තුළ අනේක දුක් විඳිති. මෙසේ එකම කාරණාව විවිධ ආකාරයට අවබෝධ වීම හේතුවෙන් ලොවෙහි මිනිසුන් තුළ එකම කාරණාව උදෙසා විවිධ වෙනස් මති මතාන්තර, වාද විවාද හට ගනී. උනුන් තමන්ගේම දෘෂ්ඨියේ සිට ලොව දකිති. මුලාවේ වැටෙති. මෙම වැරදි දෘෂ්ටින් දෘෂ්ටි ජාලය, දෘෂ්ටි කාන්තාරය ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වූහ. එසේම වැරදි දෘෂ්ටි නැති කරගත් පුද්ගලයා දර්ශන භූමියට පත්වූයේ යැයිද, සම්මා දිට්ඨියට පැමිණියේ යැයිද,සෝවාන් ඵලයට පත්වුයේ යැයිද සඳහන් කළ අතර නැවත එම පුද්ගල සන්තානයෙහි වැරදි දෘෂ්ටි ඇතිවන ස්වභාවය වත් නොමැති බවද ධර්මයේ සඳහන් වේ.

 ලොව අරමුණු කරන මිනිසුන්ට ලොව තේරුම් යන්නේ විවිධ ආකාරයට බැවින් විටෙක නිවැරදිව තේරුම් ගන්නා අතර තවත් විටෙක වැරදි ආකාරයට තේරුම් ගනිති. වැඩි වශයෙන් විශාල මුලාවකට පත්වී සිටිති. මෙම තත්වය තේරුම් ගන්නා නුවණැත්තෝ තමන් ගැන විමසා බලා තමන්ගේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්නේ, අප්‍රමාදීව කටයුතු කරති.

 මෙහිදී බොහෝ දෙනා නිවැරදි යයි පවසන හෘද සාක්ෂියට එකඟව ජීවත්වීම යන්න අභියෝගයට ලක්වේ. එය නිවැරදි වන්නේ තම සන්තානයේ වැරදි දෘෂ්ටි නොමැතිනම් පමණි. නැතහොත් තමන් නිවැරදි යයි සිතා කරන කටයුතු සැබෑවටම වැරදි සහගත වන අතර තමන් එය නොදනී.අතීතයේ නිවැරදි බව සිතමින් සිදුකළ යම් යම් කටයුතු පසුව කාලීනව වැරදි බව වැටහුනු අවස්ථා විරල නොවේ. භයානක තත්වය එය නොවේ. අද මෙම වර්තමානයේ තම සිතුවිලි නිවැරදි ද යන්නයි.අද සිතෙන ආකාරය හෙට වැරදි බව වැටහීමට ඉඩ ඇත. එලෙස මුලු ජීවිත කාලයේදීම ලොව වැරදි ආකාරයට අරමුණු වුවහොත් කෙදිනක වත් නිවැරදි ආකාරයට ලොව නොදැනී, ජීවිතයම ලොවට වසන්වී ජීවත්වූවා වැනිය. මෙම තත්වය තේරුම් ගන්නා නුවණැත්තෝ වික්ෂිප්ත වී තම සන්තානයෙන් නිවැරදි සිතුවිලි නැගී එන ආකාරයට හැකි ඉක්මනින් මනසිකාරය සකස් කර ගනිති.

 වැරදි අවබෝධයකින් තොර රහත් උතුමන් වහන්සේලාගේ සන්තානයන් කිසිදු කලෙක ලොවෙහි මුලා නොවෙති. මන්ද යත් සිත් සකස් වීමට හේතුවන මනසිකාරයෙහි ලෝභ, ද්වේෂ මෝහ සංයෝජනය නොවන බැවිනි. රහත් උතුමන් වහන්සේගේ සන්තානයෙන් සාමාන්‍ය පුද්ගල සන්තානය අපගමනය වන්නේ සාමාන්‍ය පුද්ගල සන්තානයෙහි චේතනා සකස් වීමේදි ලෝභ,ද්වේෂ මෝහ අකුසලයන් මිශ්‍ර වීමයි. මන්ද සෑම අකුසලයක් සමඟම ඇත්ත වසන් කරන ස්වභාවයක් සිතක ඇතිවන බැවිනි. එනම් රහත් සිතකට සමීප වීමට නම්,ලොව නිවැරදිව තේරුම් ගන්නා, අරමුණෙහි මුලානොවන, සන්තානයක් සකස් කරගැනීමට නම් අකුසල ධර්මයන් දුරු කළ යුතු බව ප්‍රත්‍යක්ෂව පෙනේ. ලොවෙහි සත්‍ය තත්වය වැටහෙන සන්තානයක් සකස් කරගැනීමට අකුසලයන් දුරු කළ යුතු බවත් තමන් වහන්සේට බෝධිසත්ව අවධියේම එය වැටහි කටයුතු කළ බවත් බුදුපියාණන් වහන්සේ බෝධීරාජකුමාර සූත්‍රයේදි අවධාරණය කර ඇති ආකාරය මෙසේයි.

 යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් හෝ සිතිනුදු වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද කාම ආසාවක් වේද කාම මුර්ජාවක් වේද කාම පිපාසයක්වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවුයේ වේද, මනාව මැඩ පවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තා වූ දුක් වූ තියුණූ වූ කටුක වූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්ය මාර්ග ඥාන දර්ශනයටද නිරුත්තරවු අවබෝධයටද නුසුදුස්සෝමය.

 මේ අනුව වැටහෙන්නේ උතුම් අවබෝධය සඳහා කාමයෙහි ඇලීම්, ගැටීම්, මුලාවීම් සිතෙන් ඉවත් කර ගත යුතු බවය. කෙසේ හෝ අකුසල හැඟීම් සිතෙන් ඉවත් කරගත යුතු බවය. ඒවා තිබියදි ඇතිවන අවබෝධයක් නම් නොමැති බවය. එසේ නොවුන හෝ සැම දා ලොවෙහි සැබෑවටම නැතිදේ ඇති සැටියටත්, ඇති දේ නැති සැටියටත් දැනෙන බැවින්,අර්ථයක් නැති දේ ගැන අර්ථයක් ඇති ලෙස සිතිවිලි උපදින බැවින්, හඬමින් , වැළපෙමින්, බොහෝ දුක් විඳිමින්, ගෙවන ජීවිතය සැපවත් නොවන්නේමය. මුලාව වසර සියයක් ගෙවනවාට වඩා නොමුලාව එක් දිනක් හෝ වාසය කිරීම වටින බව ඇත්තකි. අකුසලය තම සන්තානයෙහි මිශ්‍ර නොවන පරිදි කෙසේ හෝ සකසා ගත යුතුවේ. උතුම් බුදුපියාණන් වහන්සේ මෙම ස්වභාවධර්මය තුළ හේතුන්ගේ බලපෑමකින් තොරව හටගන්නා කිසිවක් නොමැති බව අවධාරණය කළහ. එබැවින් සියලු අකුසලයෝද හේතු සහගතවම උපදින්නෝය. එලෙසම හේතු නැති කිරීමෙන් නැතිවෙති.

 එබැවින් අදාළ හේතු නැති නොකර අකුසල් සිතක ඇතිවීම නැවැත්විය නොහැකි බව අවධාරණයෙන් දත යුතුවාක් මෙන්ම කුසල සිතක පහළවීමටද, එයට අදාල හේතුන් සකස් කළ යුතුවේ. මෙසේ තමන්ට, අනුන්ට අනර්ථ ඇතිවන, දුක් විපාක ඇති. දුක් වැඩිවන, අකුසලයෙහිලා ගැනෙන සියලු සිතිවිලි සිතෙන් බැහැර වන සේ සිත සැකසීමත්, අර්ථය පිණිස වන, සැප විපාක ඇති, දුක් අඩුවන, කුසලයන් සිතක ඇතිවීමට හේතුවන ධර්මතාවයන් භාවිතා කිරීම තුලින් අකුසල් දුරු කොට, කුසල් වර්ධනය කර, සිත පිරිසුදු කර ගැනීම බෞද්ධ ධර්මයෙහි අන්තර්ගතයයි. රෝගී වු තැනැත්තෙකුට නිරෝගි පුද්ගලයකුට මෙන් කාර්යක්ෂමව කටයුත්තක නියැලීමට නොහැකිවාක් මෙන් අකුසලයෙන් අපිරිසුදු වු සිතක්, කළ යුතු යහපත් කෘත්‍යයෙහි යෙදවිය නොහැකි, අකර්මණ්‍ය භාවයෙන් යුතුවේ.

 රෝගය සුවවූ පසු,අදාළ කටයුතු වල යෙදිය හැකි වීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නාක් මෙන් අකුසලයෙන් ක්‍රමයෙන් සිත මුදවා නිවැරදි බවට පත්කරවන, සිත පිරිසුදු කරන, සීල විශුද්ධී, චිත්ත විශුද්ධි, දිට්ඨී විශුද්ධී කංඛාවිතරණ විශුද්ධි , මග්ගාමග්ග ඡාන දස්සන විශුද්ධි, පටිපදා ඥානදස්සන විශුද්ධි ඥාන දස්සන විශුද්ධී ලෙස ක්‍රමානුකූලව ප්‍රබල අකුසලයේ සිට සියුම් වු අකුසලය දක්වාම සිතෙහි හට ගැනීම වළකන, නැති නුවණැස ඇති කරන, නැති ඥානය , ඇතිකරන, සිත සමාහිත කරන, විශේෂ ඥානයක් ඇති කරන, මගනුවණ ඇතිකරවන, කෙලෙස් නූපදින තත්වයට පත්කරවන,ආර්ය අෂ්ඨාංගික මාර්ගයම, සිත සුවපත් කරවන මාර්ගයම, බෞද්ධ මනෝ චිකිත්සාවයි.

 සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධී ලෙස සිතක වර්ධනය වියයුතු. මාර්ග අවස්ථාවේද පරිපූර්ණව එකවර හේතුවෙමින් උපදින, ලෝකෝත්තර මාර්ග හිතට හේතුවන අට වැදැරුම් , එකිනෙකා ප්‍රත්‍ය වන, මෙම අංග සිතක වර්ධනය වීම අරමුණු කර ගනිමින්ම අදාල පිළිවෙත් මාර්ගය භාවිතා කළ යුතුවේ.

මතු සම්බන්ධයි

2015 ක් වූ මාර්තු 05 වනදා බ්‍රහස්පතින්දා, බුදුසරණ පුවත්පත

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------