ආරණ්‍ය සේනාසන

වෑඋඩ, දොඩම්තලාව, ධම්මගිරි අරණ්‍ය සේනාසනය.

 ධම්මගිරි අරණ්‍ය සේනාසනය කුරුනෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ඡන්ද කොට්ඨාශයට අයත් වෑඋඩ ග්‍රාමයේ මනරම් කඳු පන්තියක පිහිටා ඇත. කුරුනෑගල නුවර පාරේ මාවතගම පසුකර වෑඋඩ පාසල අසලින් වමට හැරී කි.මී. 5 ක් පමණ ගමන්කල විට  දොඩම්තලාව අරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගය හමුවේ.

අක්කර දහයක පමණ භූමි ප්‍රමාණයක වනාන්තරය තුල අරණ්‍ය පිහිටා ඇත. ඉතා සුවදායක දේශගුණයත් වනයේ ඇති සුන්දරත්වයත් එහි වැඩවසන ස්වාමින්වහන්සේලාට ආශීර්වාදයකි. මෙහි ඇති ඓතිහාසික වටිනාකමට වනය තුල ඇති ගල්ලෙන් සාක්ෂි දරයි. නිබඳව ඇදහැලෙන දිය පහරවල් අරණ්‍යට පිවිසෙන කාගේත් පා දෝවනය කරන්නේ කය මෙන්ම ශ්‍රද්ධාවෙන් පිරුණු සිත් ද පිරිසුදු කරමිනි.

ස්වාමින්වහ්සේලා වැඩවාසය කරන වනයේ තැනිත් තැන ඇති කුටි දහයක් පමණද සංඝාවාසයක් සහ කුඩා දාන ශාලාවක්ද අරණ්‍යයෙහි ස්වාමින්වහන්සේලාගේ අවශ්‍යතා සපුරයි. අවශ්‍යම අංගයක් වූ පණ්ඩුපලාස කුටි හතරක් ඉදිවී ඇත. කඩිනමින් ඉදිවන නේවාසික භාවනා යෝගීන් සඳහා වන තෙමහල් භාවනා කුටි සංකීර්ණ දෙකක් ද මේ දිනවල එහි යන කාටත් දැක ගත හැකිය. එක් වේලක් පමණක් දානය වළඳන ස්වාමින්වහන්සේලට අවට ගම් වාසින් දානය රැගෙන ගියද උන්වහන්සේලා පිණ්ඩපාතය වැඩීම ද සුලබ දසුනකි.

පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භවූ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය ඉතා කෙටි කලක් තුල සීග්‍රයෙන් වර්ධනයවෙමින් ලෝවැසි හුදී ජනයාගේ සිත් පහන් කරමින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පිං කෙතක් වී ඇති බව නොරහසකි. අරණ්‍ය ඉදිකිරීමට කිරීමට දායක වූ මාවතගම , කුරුනෑගල සියලු දායක පින්වතුන් ඇතුළු අනුග්‍රහය දක්වන සියලු ශ්‍රී ලංකාවාසි , ලෝකවාසි දායක පින්වතුන් ද හදපිරි ස්තුති පුර්වක පුණ්‍යානුමොදනාවෙන් සිහිපත් කර සිටිමු !

- චිත්ත විශුද්ධි පදනම